Saturday, January 5, 2019

සංක්‍රාන්ති සමයේ විහාර සිතුවම් කලාවෙහි දක්නට ලැබෙන බහු සංස්කෘතික ලක්ෂණ

                              ශ්‍රී ලාංකේය සංක්‍රාන්ති සමය

ශ්‍රී ලංකාවෙහි පැරණි අවධියට අයත් සිතුවම් කලාව පිළිබඳ මහාවංශයේ දැක්වෙන කරුණු අනුව අනුරාධපුර යුගයේදී චිත්‍ර ශාලාවක් පැවති බවට තොරතුරු අනාවරණය වී තිබේ. කෙසේ වුවද විවිධ යුගයන්හිදී විවිධාකාර පරිවර්තනයන්ට ලක්වෙමින් මෙරට සිතුවම් කලාව වර්තමානයේ ස්වරූපය දක්වා වර්ධනය වී තිබෙන බව සිතුවම් අධ්‍යයනයේදී පැහැදිලි වන්නකි. ඒ අතරින් පොළොන්නරු රාජධානි සමයෙන් පසු ස්ථාවර වු කලාවක ආරම්භය මහනුවර රාජධානි සමයේදී ඇති වීම ලාංකේය කලා ඉතිහාසයේ සුවිශේෂි කලා ස්වරූපයක් පැන නැගීම ලෙස හැඳින්විය හැකිය. මහනුවර රාජධානී සමයේ බිතුසිතුවම් කලාව දාහත්වන සියවසේ අගභාගයේ සිට දහනමවන සියවසේ අවසාන සමය දක්වා කාලසීමාවට අයත්වේ.

මහනුවර රාජධානී සමයෙහි බිතුසිතුවම් කලාවටම අනන්‍ය වු සිතුවම් ශෛලියක් පැවතිණ. අඛණ්ඩ කථන මාධ්‍ය, තීරු ක්‍රමය, පැතලි වර්ණ භාවිතය, ශෛලිගත ගස්වැල් නිවාස හා මිනිස් රූප නිර්මාණය, එකම තලයක සිතුවම් නිර්මාණය, ඍජු දර්ශි, අර්ධ ඍජු දර්ශි සහ පාර්ශව දර්ශි ලෙසින් මානව රූප නිර්මාණය ආදිය දක්නට ලැබේ. නිදසුන් වශයෙන් ගංගාරාම විහාරය, දෙගල්දෝරුව, සුරියගොඩ, දළදා මාළිගාව ආදිය පෙන්වා දිය හැකිය .

මෙම කාලසීමාව වන විට මෙරට විවිධ ආක්‍රමණිකයන්ට නතුව තිබිණ. පාතුගීසි, ලන්දේසි, කාලිංග මාඝ ආදිය නිදසුනකි . එක්දහස් හත්සිය අනුහය වර්ෂය වන විට මෙරට මුහුදු බඩ ප්‍රදේශ ඉංශ්‍රීසින් විසින් යටත් කර ගෙන තිබිණ. ඉන් නොනැවතුණ ඔවුන් එක්දහස් අටසිය පහළොව වන විට උඩරට රාජධානිය ද ඔවුන් යටතට ගෙන ලංකාව සම්පුර්ණයෙන්ම ඉංශ්‍රීසින්ගේ යටත් විජිතයක් බවට පත් කර ගන්නා ලදී. මේ අනුව මෙතෙක් පැවති මහනුවර සිතුවම් සම්ප්‍රදායෙහි වෙනස්කම් ඉස්මතු වන්නට විය. විශේෂයෙන්ම දහනමවන සියවසෙහි අගභාගය වන විට පහතරට ප්‍රදේශවලද ව්‍යාප්තව පැවති මහනුවර සිතුවම් සම්ප්‍රදාය පරීවර්තනය වෙමින් පැවතිණ. පහතරට ප්‍රදේශ උඩරට ප්‍රදේශයන්ට සාපේක්ෂව බහුල වශයෙන්ම දේශිය ආධිපත්‍යයට ගොදුරු වු ප්‍රදේශයන් විය. ඒවායෙහි බලපෑම ඍජුවම එම ප්‍රදේශවල වැසියන්ට බලපාන්නට ඇත. ද්‍රව්‍යාත්මක සංස්කාතියේ සිදුවන පරිවර්තනිය තත්වය නිසා එහි සාමාජිකයන් වන මිනිසාද ඒ අනුව තමන්ගේ ආකල්පයන් ද වෙනස් කර ගෙන කටයුතු කිරිම ස්වභාවික තත්වයක් වේ. එකී ආකල්පයන්ගේත් භෞතික සංස්කාතියෙහි වෙනස් වීම නිසා මිනිසාගේ නිර්මාණයන් වන කලාව ද එකි වෙනස් වීම් අනුව හැඩ ගැසීම සිදුවේ.

ඉංශ්‍රිසීන්ට නතුවීමෙන් අනතුරුව ඔවුන්ගේ ආගම වු ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරිමෙහි උපක්‍රමයක් ලෙස ක්‍රිස්තියානි පල්ලි නිර්මාණය විය. ඒවායෙහි බිත්ති පෘෂ්ඨ මත යුරෝපීය ස්වභාවික  ශෛලියෙහි සිතුවම් ඉතා සිත් ගන්නා අයුරින් ඇඳ තිබිණ. එමෙන්ම ඉංශ්‍රීසි  උගත් මධ්‍යම පංතියක් ලාංකේය සමාජ ක්‍රමයෙහි ක්‍රමයෙන් නිර්මාණය වන්නට විය.

එහිදී මෙරට ධනය හිමි පිරිස් තම දරුවන් විදේශිය අධ්‍යාපනයට යොමු කරන ලද අතර එලෙස විදේශිය අධ්‍යාපනය ලැබු දරුවන් නැවත මෙරටට පැමිණ විවිධ ක්ෂේත්‍රවල කටයුතු සඳහා උපයෝගී කර ගන්නට විය. එලෙසින් මෙරට ශාස්ත්‍රාලීය සිතුවම් කලාවක ආරම්භය එක්දහස් අටසිය අනුඑක වර්ෂයේදී පිහිටුවා ගන්නා ලද ලංකා කලා සංගමය ඔස්සේ ක්‍රමයෙන් වර්ධනය විය.

මේ අනුව දහනමවන සියවසෙහි අගභාගයේදී පමණ වන විට පරිහානියට පත්වු උඩරට සිතුවම් කලාවත් ඒ සමය පමණ වන විට වර්ධනය වෙමින් පැවති යුරෝපීය ශාස්ත්‍රාලීය සිතුවම් කලාවත් අතරමැඳි කාල සීමාව ශ්‍රී ලාංකේය විහාර බිතුසිතුවම් කලාවෙහි සංක්‍රාන්ති සමය ලෙස හැඳිනගත හැකිය. මෙසමයෙහි දී නිශ්චිත වශයෙන්ම මහනුවර සම්ප්‍රදායක සිතුවම් කලාවක් හෝ ශාස්ත්‍රාලීය සිතුවම් කලාවක් හෝ පැහැදිලිව හඳුනාගත නොහැකිය. මෙම කාලයේ දි ඇඳි බිතු සිතුවම් සහිත විහාරස්ථාන වශයෙන් දෙහිවල කරගම්පිටිය සුබෝධාරාමය, පානදුර රන්කොත් වෙහෙර , බෝතලේ ගෝඨාභය විහාරය , සපුගස්කන්ද විහාරය සහ පාන්තිය විහාරය පෙන්වා දිය හැකිය. මෙම විහාරවල ඇඳ තිබෙන සිතුවම් සංක්‍රාන්ති සමයෙහි සිතුවම් ලක්ෂණයන් ප්‍රකට කර තිබේ. පහතරට ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මෙම විහාරයන් මෙම තත්වයට අයත් වීමට ප්‍රධානතම කරුණ වන්නේ ද වරින් වර මෙරට විදේශයන්හි ආක්‍රමණයන්ට මුහුණ පෑමට සිදුවීමත් නිසා එකී සංස්කෘතීන්ගේ සංස්පර්ශයන්ට නිරායාසයෙන්ම ගොදුරු වීමත් නිසාය.

සංක්‍රාන්ති සමයේදී පශ්චාත් මහනුවර සම්ප්‍රදායත් ශාස්ත්‍රාලීය කලාවෙත් ලක්ෂණ සම්පූර්ණ වශයෙන් දක්නට නොලැබෙන මෙම කාල සිමාවේදී සම්ප්‍රදායන් දෙකටම අනන්‍යය වු ලක්ෂණවල මිශ්‍ර වීමෙන් යුක්ත වු දෙමුහුන් ලක්ෂණ දක්නට ලැබේ. පශ්චාත් මහනුවර යුගයෙහිදී මුල් කාලසීමාවේදි යුරෝපීය සංස්කෘතියට අයත් විවිධ මෙවලම් අන්තර්ගත වු අතර දෙවන භාගයේදී ස්වභාවික සිතුවම් ශෛලියෙහි ලක්ෂණත් මෙන්ම අවසාන භාගයේදී  මහනුවර සිතුවම් සම්පූර්ණ වශයෙන්ම යුරෝපීය ලක්ෂණයටත් ශෛලියටත් අනුගතව ඇත.

මහනුවර සම්ප්‍රදායෙහි නිශ්චිත ප්‍රමාණයන් (12/24) සහිතව තීරු මත අඛණ්ඩ කථන ක්‍රමය යටතේ සිතුවම් නිර්මාණය වෙනුවට තීරු ප්‍රමාණය (40/36) වෙනස්ව සුවිශේෂි අවස්ථාවන් පමණක් උපයෝගී කරගෙන සිතුවම් නිර්මාණය , බහුල වර්ණාවලියක් යොදා ගැනීම , බහු දෘෂ්ටි කෝණයන්ගෙන් යුක්ත වීම, අඳුරු ආලෝකය දැක්වීම , රූපවල ත්‍රීමාන බවක් යොදා ගැනීම, ස්වභාවික ලෙස මානව රූප සහ සෙසු අවශේෂ වස්තූන් නිර්මාණය කිරිම මෙන්ම රේඛාවට වඩා වර්ණ හා හැඩතල වලට ප්‍රමුඛත්වය ලබා දීම යනාදි ලක්ෂණයන් මෙම කාල පරාසයේ බිතු සිතුවම්වලින් දක්නට ලැබේ. සාම්ප්‍රදායිකව මහනුවර යුගයේදී නවන්දන කුලය විසින් පවත්වාගෙන එන ලද සිතුවම් කලාව සමාජයෙහි ඇතිවු දේශපාලනික , ආර්ථීක සහ සංස්කෘතික තත්වයන් හමුවෙහි පරිවර්තනය වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන්  සම්ප්‍රදායන් දෙකක මුසු වීමෙන් මෙම සංක්‍රාන්ති කාල සීමාව විහාර බිතු සිතුවම් කලාවෙහි ඇති විය.

සංක්‍රාන්ති සමයේ විහාර සිතුවම් කලාවෙහි දක්නට ලැබෙන බහු සංස්කෘතික ලක්ෂණ


මිනිසුන් කොට්ඨාසයක් එක්ව පවත්වාගෙන යනු ලබන ජිවන රටාවෙහි සමස්ථයක් වශයෙන් සංස්කෘතිය හැඳින්විය හැකිය. ඒ තුළ භාෂාව ,සිරිත් විරිත් ,ඇඳුම් පැළඳුම් ,නීතිය ,ආගම ආදි සියල්ල අයත් වේ. එවැනි සංස්කෘතින් කිහිපයක් එක්වු තැන බහුසංස්කෘතිය ලෙස හැඳුන්වයි. ශ්‍රී ලංකාවෙහි මුල් යුගයෙහි සිටම වෙනත් සංස්කෘතින් සමඟ සම්මිශ්‍ර වීම ප්‍රධාන වශයෙන්ම ආක්‍රමණයන් නිසා සිදුවිය. ලාංකේය විහාර බිතු සිතුවම් කලාවෙහි සංක්‍රාන්ති සමයට අයත් දහනමවන සියවසෙහි අග භාගයේ සිතුවම් සහිත පහතරට ප්‍රදේශ ආශ්‍රිත විහාරස්ථාන හමුව ඇත. එම විහාරස්ථානයන්හි සිතුවම් පොදුවේ ගත්කල මෙම කාලසිමාවට අයත් සුවිශේෂ වු ලක්ෂණ ප්‍රකට කරමින් සිතුවම් කර තිබෙන බැවින් ඒ එක් එක් සිතුවම් අධ්‍යනයේදී එම කාලසීමාවේ ලබාගත් සංස්කෘතික සංස්පර්ශයන් හඳුනාගත හැකිය.

දෙහිවල කරගම්පිටිය සුබෝධාරාමය කොළඹ නගරයේ සිට සැතපුම් නවයක් පමණ දකුණු දෙසින් බස්නාහිර පළාතේ දෙහිවල නගරයට ආසන්නව පිහිටා ඇත. මහ පරාක්‍රමබාහු (1412-1467) විසින් කරගම්පිටිය කඳුගැටයක නාගසක් පාමුල දේවාලයක් කර ඇති අතර පෘතුගිසීන් විසින් එය කඩා දමා එහි ගල්කණු ගල්කිස්සේ සාන්ත අන්තෝනි දෙව්මැඳුර තැනීමට ගෙන ගොස් ඇත. ඕලන්ද යුගයේදි ලන්දේසි පල්ලියක් හා අම්බලමක් තනවා තිබේ. බි්‍රතාන්‍යය යුගයේදි ගල්කිස්සේ මෙතොදිස්ත දෙව්මැඳුර ගොඩනැඟු අවස්ථාවේදී ඕලන්ද පල්ලියට ගෙන ගිය ගල් කණු නැවතත් කරගම්පිටියට ලබා දී ඇත.

ඒ අනුව තහවුරු වන කරුණ වන්නේ කරගම්පිටිය සුබෝධාරාමය ගොඩනැංවීමට පෙර සිටම එම ප්‍රදේශ ආශ්‍රිතව විදේශිය සංස්කෘතීන්ගේ බලපෑම්වලට නතු වීමට සිදුව තිබෙන බවය. 2එක්දහස් හත්සිය පනස් නවය වන විට විහාරය නිම කරන ලදුව පූර්ණ යටත් විජිතයක් වු මෙරට මහරැජිණ ලෙස අභිෂේක ලත් බව හැඟවීමටත් ඇයට යටහත් බව දැක්විම සඳහාත් විහාරයේ ප්‍රතිමා ගෘහයට ඇතුල්වන දොරටුව ඉහළ කොටසෙහි වික්ටෝරියා රැජිණගේ රුව සිත්තම් කර තිබෙනු දක්නට ලැබේ. පිට සිලිමේ හා බාහිර බිත්තිවල සිතුවම් එක්දහස් අටසිය අනුහතේ නිමවා ඇත. මෙහි එක්දහස් අටසිය අනු අටේ දී ලන්දේසි පිඟන් කැබලි හා කාසිත් පිළිම ගෙයි පොළව සඳහා යොදාගෙන තිබීමෙන්ද තහවුරු වන්නේ විදේශිය සංස්කෘතික බලපෑම වේ.
කරගම්පිටිය විහාරයේ ප්‍රතිමා ගෘහයේ පිට බිත්තිවල (පිට මාලයේ පිට බිත්තිවල) ඇඳි සිතුවම් දහනවවන සියවසේ අගභාගයේදී නිර්මාණය කළ ඒවා වශයෙන් සඳහන් කළ හැකිය3.  විශේෂයෙන්ම උම්මග්ග ජාතකයෙහි දැක්වෙන දර්ශන අතර ක්‍රිව 1897 ලෙස වර්ෂය දක්වා ඇති අතර දොරටුවට ඉහළින් ඇති කොටසෙහි බු.ව. 2339 වෛශාඛ 10 ලෙස දින වකවානු දක්වා ඇත එමඟින් මෙහි සිතුවම් 19වන සියවසෙහි සංක්‍රාන්ති සමයට අයත් සිතුවම් වශයෙන් තහවුරු කරගත හැකිය.

කරගම්පිටිය විහාරයෙහි සිතුවම් අතර යුරෝපීය සංස්කෘතික ලක්ෂණ අන්තර්ගතව ඇති සිතුවම් හඳුනාගත හැකිවේ. විශේෂයෙන්ම බටහිර පන්නයට සමීප වු නිවාස, මල් මෝස්තර, භූමි දර්ශන, විවිධ ලාංඡන, භාණ්ඩ මෙන්ම ඇඳුම් පැළඳුම් ද සිත්තම් කර තිබේ. නිදසුන් වශයෙන්  “කරගම්පිටිය සුබෝධාරාමයේ උම්මග්ග ජාතක තීරුවල රාජකීය පිරිස ඇඳ සිටින්නේ මෙවැනි අපරදිග ආරට නිර්මාණය කළ ඇඳුම් පැළඳුම් වේ.” යන්න පෙන්වා දිය හැකිය.

එකල චිත්‍රශිල්පීන් විසින් ඔවුන්ගේ සමකාලීන සමාජයෙහි දක්නට ලැබු දෑ තමන්ගේ සිතුවම් නිර්මාණයන්හි චරිත සඳහා භාවිත කරගෙන ඇත. ඒ අනුව තහවුරු වන්නේ එකල සිංහල සංස්කෘතියට අයත් ලක්ෂණයන්ට අමතරව විදේශිකයන් මෙරට වාසභූමි කරගත් නිසා ඔවුන්ගේ ලක්ෂණයන් ද මෙරට සිත්තරුවන් තමන්ගේ සිතුවම් සඳහා ඒවා උපයෝගි කරගෙන තිබෙන බවය.

පහතරට සිතුවම් ශිල්පියා විසින් අවශ්‍ය ස්ථානයන්ට ගෘහ නිර්මාණයන් භාවිත කිරිමේ දී බොහෝ ස්ථානයන් සඳහා යුරෝපීය ලක්ෂණයන්  සහිත ගෘහනිර්මාණයන් උපයෝගි කරගෙන තිබිණ. නිදසුන් වශයෙන් පිටමාලයේ පිට බිත්ති මත මහා උම්මග්ග ජාතකයෙහි “මහෞෂධ රජු සඳහා මාළිගාවක් සාදවයි” (01 රූපය) සිතුවම පෙන්වා දිය හැකිය. මෙහිදී මානව රූපයන් සිතුවම් කර තිබෙන්නේ මහනුවර සම්ප්‍රදායෙහි සිතුවම් ශෛලියට වඩා වෙනස්ව ත්‍රිමාන ලෙසින් ස්වභාවිකත්වය ඉස්මතුවන ආකාරයෙනි . එසේම එකම තීරුවෙහි මානව රූපයන් විවිධ ඉරියව් සහිතව නිර්මාණය කර ඇත.නිදසුන් වශයෙන් පහළ බැම්ම බඳිනා සේවකයාත් කියතකින් ලී කපන සේවකයාත් මිටියකින් ඇණ ගසන්නාත් ගඩොල් බඳින තැනැත්තාත් ලෙසින් පෙන්වා දිය හැකිය. ඔවුන් සිව්දෙනාම ඒ ඒ අවස්ථාවට උචිත වන ආකාරයෙන් ක්‍රියාකාරි වන අන්දම ස්වභාවිකව සිතුවම් කර තිබේ. ඒ අනුව තෝරා ගන්නා ලද සුවිශේෂි අවස්ථාවක් තීරුවෙහි පෙරබිම ,මැදබිම සහ පසුබිම යන ස්ථානයන් ත්‍රිත්වයෙහිම නිදහස් ලෙස සිතුවම් කර ඇති ආකාරය දක්නට ලැබේ.

මෙම සිතුවමෙහිම දක්වා ඇති මාළිගාවෙහි ස්වරූපය මෙරට ගොඩනැගිලි ආකෘතියට අනුගත නොවුනකි. එහි ස්වරූපය යුරෝපයේ ගොඩනැගිලි හා සමීපය. විශේෂයෙන්ම යුරෝපීය ක්‍රිස්තියානි පල්ලි ආකෘතිය මෙම සිතුවම් අධයනයේදී සිහි කැඳවයි. ආරුක්කු සහිත උස් වු බිත්ති වලින් සමන්විත වු මන්දිරයෙහි වහල සඳහා රට උ`ඵ භාවිත කරගෙන ඇත. “කරගම්පිටිය සුබෝධාරාමයේ උම්මග්ග ජාතකයේ ඇති රජමාළිගාවල යුරෝපීය ගෘහ නිර්මාණාංග පමණක් නොව අපරදිග පර්යාවලෝක රීතියට අනුරූපව ගොඩනැගිලි ඇඳිමට ගත් උත්සහයක සාධකද හඳුනාගත හැකිය.”

මෙහිදී මානව රූප වර්ණ ගැන්වීම සඳහා භාවිත කරගෙන තිබෙන්නේ යුරෝපීය ස්වභාවිකවාදී ශෛලියට වේ. මානව රූපයන් ත්‍රිමාන ආකාරයෙන් දැක්වීම සඳහා සම්පූර්ණ වශයෙන් ලා දුඹුරු පැහැයෙන් සිරුර වර්ණ ගන්වා සිරුරෙහි අඳුරු වන ස්ථානයන් වල තද දුඹුරු පැහැය ගැන්වීමෙන් ඒ බව ඉස්මතු කර දක්වා තිබේ. ඇතැම් රූපයන් සඳහා අඳුරු ආලෝකය යොදාගෙන තිබුණද ඇතැම් අවස්ථාවන්හි දී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආලෝකය වැටෙන අයුරින් සිතුවම් එකිනෙක අධ්‍යනයේදී තහවුරු වේ.

උම්මග්ග ජාතකයෙහි එන මහෞෂධ පඬිතුමා විසින් රජුහට නිර්මාණය කරන උමඟ නැමති සිතුවමෙහි දක්නට ලැබෙන මානව රූපයන් නිර්මාණය කිරීමේදී ඒවායෙහි භාවිත ඇඳුම් විශිෂ්ඨ ලක්ෂණ ප්‍රකට කරන ආකාරයෙන් සිතුවම් කර නොමැතිය. නමුත් එම මානව රූපයන්ගේ වටකුරු බව දැක්වීම උදෙසා ඇඳුම් වර්ණ ගැන්වීමෙහි ක්‍රම වේදයක් සිත්තරා විසින් යොදාගෙන තිබෙන ආකාරය උක්ත සිතුවමෙන් දැකගත හැකිවේ. එමෙන්ම සිත්තරා එකම සිතුවමෙහි මානව රූපයන් ඇස් මට්ටමෙන් මෙන්ම නිවෙස්වල ඉහළ මාළයේ සිට පෙනෙන ආකාරයෙන් සිතුවම් කර තිබේ.

උම්මග්ග ජාතකයෙහි “බත් පරීක්ෂා කිරිම” නම් සිතුවමෙහි දැක්වෙන වෘක්ෂලතා වර්ණ පදාස මඟින් සිතුවම් කර තිබේ. එසේම සමීපයෙහි සිතුවම් කර ඇති කුඩා පැළෑටි සහ වෘක්ෂලතාවන් සිය`ඵම ලක්ෂණ ඉතා සියුම්ව ප්‍රකට වන අන්දමින් සිතුවම් කර ඇත. මෙහි නිවස වටා සිතුවම් කර ඇති වෘක්ෂලතා අතර සමීපයේ ශාකයන්හි පත්‍ර විශාලව දක්වා ඇති අතර ඒවායෙහි අඳුරාලෝකය වැටී ඇති අතර ඉතා සියුම් ලෙසින් සිතුවම් කර ඇති ආකාරය උක්ත සිතුවමෙන් දක්නට ලැබේ. යුරෝපීය ස්වභාවිකවාදී සිතුවම් ශෛලියෙන්ද ආභාසය ලබා ගන්නා සංක්‍රාන්ති සමයෙහි සිතුවම්කරුවන් තමන්ගේ සිතුවම්හි පරිසරය සිතුවම් කිරිමේ දී ඒවා ස්වභාවික අන්දමින් නිරූපණය කර ඇත. නිදසුන් වශයෙන් වලාකු`ඵ , ගංගා පොළව ආදි සෙසු අංග පෙන්වා දිය හැකිය.
සංක්‍රාන්ති සමයෙහි සිත්තරුවන් තමන්ගේ සිතුවම් උදෙසා භාවිත කරගන්නා ලද වර්ණ අමිශ්‍රය. ඒ හේතුවෙන් සිතුවම්හි වෛර්ණවත් ස්වභාවයක් දක්නට ලැබේ. ආනන්ද කුමාරස්වාමි තමන්ගේ “උඩරට පැරණි ගොඩනැගිලි ආරක්ෂා කිරිම සඳහා අදහස් කිහිපයක් ” නැමති ලේඛනයෙහි නරකට අඳින ලද නත්තල් කාඞ්පතක් , දේදුන්නේ වෛර්ණ බව ආදි වචන වලින් පෙන්නුම්ව ඇත්තේ උක්තාකාරයෙහි සිතුවම්ය. විශේෂයෙන්ම රතු නිල් කහ සුදු දුඹුරු යනාදි වර්ණයන් අමිශ්‍ර ආකාරයෙන් සිතුවම් සඳහා භාවිත කරගෙන තිබෙන අයුරු සිතුවම්වලින් ප්‍රකට වේ. එසේම සිතුවමෙහි හිස් අවකාශයන් පිරවීම සඳහා මහනුවර සම්ප්‍රදායෙහි මෙන් උපක්‍රම යොදාගෙන නොමැතිය.

සංක්‍රාන්ති සමයෙහි සිතුවම් කරගම්පිටිය සුබෝධාරාමයෙහි හමුවන්නේ පිටමාලයේ පිට බිත්තිවල පමණකි . අනෙක් සෙසු සිතුවම් පශ්චාත් මහනුවර සම්ප්‍රදායට අයත් වුවකි. සම්පූර්ණ වශයෙන් මහනුවර හෝ  ශාස්ත්‍රාලිය කලාවක් නොවු මෙම අවධියේදි යොදාගෙන තිබෙන ශෛලීන් සඳහා විධිමත් අවබෝධයක් නිසියාකාරව සිත්තරුවන්ට නොතිබුණ බැව් සිතුවම් එකිනෙක අතර දක්නට ලැබෙන විවිධ ලක්ෂණ වලින් පැහැදිලි වේ. කරගම්පිටිය විහාරයේ එක් ස්ථානයක පමණක් දක්නට ලැබුණ සංක්‍රාන්ති සමයෙහි සිතුවම්වලට සාපේක්ෂව එම සමයෙහි ලක්ෂණ සහිත සිතුවම් බෝතලේ ගෝඨාභය විහාරයෙන් හමුව ඇත.

බෝතලේ විහාරයෙහි දක්නට ලැබෙන සිතුවම් 1930 වර්ෂයේදී නිර්මාණය කරවුවකි. ඒවායෙහි සම්පූර්ණ වශයෙන්ම මහනුවර සිතුවම් ශෛලියෙන් ඉවත්ව යුරෝපීය ස්වභාවිකවාදි ශෛලියට අනුගත වු සිතුවම් දක්නට ලැබේ. එම සිතුවම් බොහෝ සේ කරගම්පිටියෙහි සංක්‍රාන්ති සමයට අයත් වු පිට මාලයේ පිටත බිත්තිවල සිතුවම් වලට සමාන බවක් ප්‍රකට වේ. එහිදි යොදාගෙන තිබෙන මානව රූපවලට සමීප වන අයුරෙන් ගෝඨාභය විහාරයෙහි මානව රූප සිතුවම් කර තිබුණද සියුම්ව ඒවා පිළිබඳ අධ්‍යනයේදි තහවුරු වන කරුණ වන්නේ මානව රූපයන්හි සංකීර්ණ අලංකරණ ගණනාවක් භාවිත කරගෙන ඇති බවයි. එමෙන්ම සිත්තරා විසින් ඇඳුම් පැළඳුම් සඳහා සංකීර්ණ මෝස්තර රටා මෙන්ම බහුල වර්ණාවලියක් උපයෝගී කරගෙන ඇති බව පෙන්නුම් වේ. වෙස්සන්තර ජාතකයෙහි ‘රජු අශ්ව රථය දන්දීම’ (03 රූපය) සහ ‘පිය රජුගෙන් වංකගිරියට යාමට අවසර පැතීම’ (04 රූපය) නැමති සිතුවම්හි රුප රචනයේදිත් මානව රූපයන්හි පරිමාණුකූලවත් සිතුවම් සඳහා යොදාගැනීමේදී සිතුවම්කරුවාට ඒ පිළිබඳව නිශ්චිත අධ්‍යනයෙන් කරන ලද දැනුවත් බවක් හෝ දක්ෂතාවයක් නොමැති බව තහවුරු වේ-

ගෝඨාභය විහාරයෙහි ගෘහ නිර්මාණයන් සිතුවම් කිරීමේදී කරගම්පිටිය ගෘහ නිර්මාණ ශිල්පයන්ට සාපේක්ෂව විධිමත් පරිමාණුකූල බවක් ප්‍රකට කෙරේ - ‘ජූජක බමුණාට දරුවන්ගේ බරට සමාන ලෙස කහවනු දීම’ (02 රූපය) නැමති සිතුවමෙහි රජ මැදුරක් දක්නට ලැබේ- එහි දක්නට ලැබෙන ගෘහ අලංකරණ යුරෝපීය ආකෘතියට අනුගතව සිතුවම් කර ඇති බව පැහැදිලිය.එමෙන්ම එකී මැදුරට වම් පසින් තවත් දෙමහල් ගොඩනැගිල්ලක් දක්නට ලැබේ. යුරෝපීය කලාවට අනුගත වූ මන්දිරයක් මෙන්ම දෙමහල් ගොඩනැගිල්ල දේශීය රදළ වලව්වක ආකෘතියට අනුගත ලෙසින් සිතුවම් කර තිබෙනු දක්නට ලැබේ.රදළ පැලැන්තියේ වලව්වෙහි වහල, පරාල අතරට යොදන ලද වඩිම්බු ලෑලි මෙන්ම යොදන ලද කැටයම් ආදිය මඟින් ඒ බව හොඳින් ප්‍රත්‍යක්ෂ වේ.මෙම සිතුවමෙහි රජ මැඳුරු සඳහා යොදාගෙන තිබෙන ලක්ෂණ වශයෙන් මූර්ති යොදා අලංකාර කරන ලද කුළුණු, විශාල ආලින්දය සහිත මැඳුර , ආලින්දයේ ඉහළ මාලය මත නිමවා ඇති යුරෝපීය සෙබළෙකුගේ මූර්තිය සහ ආරුක්කු හැඩති දොර ජනෙල් යනාදිය මඟින් විදේශීය නිර්මාණ ශෛලියක් දක්නට ලැබේ- එමෙන්ම මෙහි යොදාගෙන තිබෙන ගෙවතු අලංකරණයන්ගේ ස්වභාවයද යුරෝපීය ශෛලියකට අනුව සිතුවම් කර ඇත.මෙම සිතුවම්හි දක්නට ලැබෙන දිය මල්, තණකොළ වවන ලද මිදුල සහ මිදුල වටා නිර්මාණය කර තිබෙන කුඩා ප්‍රාකාරය යනාදිය නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකිය.
සිතුවම් සඳහා යොදා ගන්නා ලද යුරෝපීය ලක්ෂණයන්ට අමතරව ඒවා යොදාගන්නා ලද තවත් අවස්ථාවන් වශයෙන් බොරදම් තීරු සහ විවිධ පනේල අලංකාර කිරීමට යොදාගෙන තිබෙන මල් සහ රෙදි තිර මොස්තර පෙන්වාදිය හැකිය.‘රෝස මල් පොකුරු’ (05 රූපය) විශාල ප්‍රමාණයෙන් අමිශ්‍ර වර්ණයෙන් සිතුවම් කර තිබෙන අතරම එහි දක්නට ලැබෙන තිර රෙදි ක්‍රිස්තියානි දේවස්ථානවල බහුලව භාවිත කරන්නකි.

‘වෙස්සන්තර රජු සහ ඔහුගේ බිරිඳ දරුවන් නැවත හස්තියෙකු පිටින් නැවත රජ මැඳුරට පැමිණීම’ නම් සිතුවමෙහි යොදාගෙන තිබෙන වර්ණාවලිය කරගම්පිටිය විහාරයෙහි වර්ණාවලියට සමාන වනවා සේම එහි වර්ණ සංයෝජනයකින් තොරව යොදාගෙන තිබෙන ආකාරයක්ද දක්නට ලැබේ.උක්ත සිතුවමෙහි පසුබිම සඳහා රතු , කොළ, කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් තොරව යොදාගෙන තිබීම කදිම නිදසුනකි.එලෙසින්ම මානව රූප සහ සෙසු වස්තුද වර්ණ ගන්වා ඇත.

සංක්‍රාන්ති සමයට අයත් යැයි සැළකෙන බිතුසිතුවම් වශයෙන් පානදුර රනකොත් වෙහෙරෙහි සිතුවම්ද හඳුනාගත හැකිය.‘අසිත තවුසාට සිදුහත් කුමරු පෙන්වීම’, ‘වප් මඟුල’ , ‘සතරපෙර නිමිති’ ,‘අභිනිෂ්ක්‍රමණය’ (06 රූපය) සිතුවම්හි නිදර්ශන වශයෙන් දක්නට ලැබෙන මානව රූප , ගෘහ නිර්මාණ , උද්භිද රූප, සත්ව රූප සේම අමිශ්‍ර වර්ණ යොදා ගැනීම පෙන්වා දිය හැකිය.මෙහි යොදාගෙන තිබෙන මෝස්තර සහ අලංකරණ ද යුරෝපීය ශෛලියෙහි ලාංකේය ප්‍රාථමික අවධිය ප්‍රකට කරයි.

මේ අනුව පානදුර රන්කොත් වෙහෙර , බෝතලේ ගෝඨාභය විහාරය සහ කරගම්පිටිය විහාරයෙහි සංක්‍රාන්ති සමයට අයත් වූ විහාර බිතුසිතුවම් හමුව ඇති බව තහවුරු වේ.ඒවායෙහි සිතුවම් අතර දක්නට ලැබෙන ලක්ෂණයන් සමානතාවයන්ගෙන් යුක්ත බැව් හැඟෙයි.මේ සඳහා භාවිත කරගෙන තිබෙන යුරෝපීය ශෛලියේ ලක්ෂණත් මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණත් ආදී වශයෙන් සංස්කෘතින් කිහිපයක එකතුවක් ලෙස හැඳින ගත හැකිය.එබැවින් සංක්‍රාන්ති සමයේ විහාර බිතුසිතුවම් බහු සංස්කෘතික ලක්ෂණයන්ගෙන් සමන්විත බවට බිතුසිතුවම් සාක්ෂි දරයි.

  නිගමනය

ශ්‍රී ලංකාවෙහි සියවස් ගණනාවක් පුරා බෞද්ධ සිතුවම් කලාවෙහි තිබූ දේශීය අනන්‍යතාවය වියැකෙමින් එකල සමාජයේ මුහුණදුන් තත්වයන් මත විදේශීය කලා සම්ප්‍රදායන්ට අනුගත වීමට සිදුවිය. ඒ අනුව මෙරට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදීන් විසින් කරන ලද ආක්‍රමණයන්ගේ ප්‍රතිඵලයන් විහාරයන්හි බිත්ති පෘෂ්ඨ මතින් සාධක සැපයීමට සමත් වේ.මහනුවර සම්ප්‍රදායෙහි කලාව ක්‍රමයෙන් විදේශීය ආධිපත්‍යයෙහි බලපෑම් නිසා පිරිහීමට පත්වන විට ශාස්ත්‍රාලීය කලාව ඉස්මතු වන්නට විය.මෙම කලා සම්ප්‍රදායන් දෙකෙහිම මිශ්‍ර වීමක් ලෙසින් පූර්ණ එක් කලාවක ලක්ෂණ නොමැති වූ සමය සංක්‍රාන්ති සමය ලෙස හැඳින්වේ.

සංක්‍රාන්ති සමයේ විහාරයන්හි අඳින ලද බිතුසිතුවම් අතර පානදුර රන්කොත් වෙහෙර , බෝතලේ ගෝඨාභය විහාරය සහ කරගම්පිටිය විහාර හඳුනා ගත හැකිය. එම විහාරයන්හි සිතුවම් වෙන්  වෙන් වශයෙන් අධ්‍යනයේදී තහවුරු වන්නේ ඒවායෙන් ප්‍රකට කරනුයේ සමාන ලක්ෂණයන් බවය.එමෙන්ම එම ලක්ෂණයන්හි සංස්කෘතින් කිහිපයක එක් වීමක් ලෙසින්ද තහවුරු වේ.නිදසුන් වශයෙන් කරගම්පිටිය විහාරයෙහි උම්මග්ග ජාතකයෙහි එන සිදුවීම් සහිත සිතුවම් ද ගෝඨාභය විහාරයෙහි එන වෙස්සන්තර ජාතකයෙහි සිතුවම් මෙන්ම පානදුර විහාරයේ බුද්ධ චරිතය ආශ්‍රිත සිතුවම් පෙන්වා දිය හැකිය.

මේ අනුව විහාර ත්‍රිත්වයෙහි බිතුසිතුවම් අධ්‍යනයේදී තහවුරු වන්නේ සංක්‍රාන්ති සමයේ විහාර බිතුසිතුවම් කලාව බහු සංස්කෘතික ලක්ෂණයන්ගෙන් පෝෂණය වූ බවයි.




දෙහිවල කරගම්පිටිය සුබෝධාරාමයේ පිටමාලයේ පිට බිත්ති මත මහා උම්මග්ග ජාතකයෙහි ”මහෞෂධ රජු සදහා මාළිගාවක් සාදවයි” සිතුවම 



පානදුර රන්කොත් වෙහෙරෙහි ‘අසිත තවුසාට සිදුහත් කුමරු පෙන්වීම’, ‘වප් මඟුල’, ‘සතරපෙර නිමිති’, ‘අභිනිෂ්ක‍්‍රමණය’ සිතුවම්

 

 

 ගෝඨාභය විහාරයෙහි වෙස්සන්තර ජාතකයේ ‘පිය රජුගෙන් වංකගිරියට යාමට අවසර පැතීම’ නැමති සිතුවම 

 

ගෝඨාභය විහාරයෙහි ‘ජූජක බමුණාට දරුවන්ගේ බරට සමාන ලෙස කහවනු දීම’නැමති සිතුවම 


ගෝඨාභය විහාරයෙහි වෙස්සන්තර ජාතකයේ ‘රජු අශ්ව රථය දන්දීම’ නැමති සිතුවම 


ගෝඨාභය විහාරයෙහි පනේලයක් අලංකාර කිරීමට යොදාගෙන තිබෙන ‘රෝස මල් පොකුරු’ 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


කුමාරස්වාමි, ආනන්ද කේ; (1957). උඩරට පැරණි ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහා අදහස් කිහිපයක්-ලංකා කලා මණ්ඩලයේ කලා සඟරාව.

චුටිවොංග්ස්, නන්දන, ලීලානන්ද ප්‍රේමතිලක, සහ රෝලන්ඞ් සිල්වා; (1990).ශ්‍රී ලංකාවේ සිතුවම් (කරගම්පිටිය විහාරය).කොළඹ: පුරාවිද්‍යා අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල.

බණ්ඩාර, සුදර්ශන ඩබ්-එම්- පී; (2017). ශ්‍රී ලාංකේය මහනුවර සම්ප්‍රදායේ විහාර බිතුසිතුවම් කලාව සහ එහි නව ප්‍රවණතා. මහනුවර; නෙත්වින් ප්‍රින්ටර්ස්.

බණ්ඩාර, සුදර්ශන ඩබ්. එම්පී.; (2012).ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලීය කලාව.මීරිගම; ආකර්ෂා ප්‍රින්ටර්ස්.

















   

                                

                                       


7 comments:

  1. Thank you sister.I could learn many things this post

    ReplyDelete
  2. ස්තූතියි...මේකට මැද්දෙපොල ගිරිඋල්ල විහාරයත් ගන්න හැකි නේද...

    ReplyDelete

එක මවකගේ දරුවෝ

ආගමෙන් ජාතියෙන් කුලයෙන්   කුමකට අයත් වුවත්  සියලු දෙනාම මනුෂ්‍යයෝ ය .