Monday, November 19, 2018

ශ්‍රී ලාංකික ආගමික විශ්වාසයන් හා ඇදහිලි වර්ධනය වීමෙහිලා බුදුසමයේ බලපෑම


ශ්‍රී ලාංකික ආගමික විශ්වාසයන් හා ඇදහිලි වර්ධනය වීමෙහිලා බුදුසමයේ බලපෑම

එමිල් ඩුර්කයිම්ට අනුව ශුද්ධ අධිභෞතික දේ සම්බන්ධ වු විශ්වාස හා යාතු කර්ම සමුහයක් වටා ගෙතුණ අන්තර් රඳා පැවැත්මක් ඇති විශ්වාසයන් හා භාවිත ක්‍රමයන් මඟින් සමාජයක සියල්ලන්ම එක් සදාචාර ප්‍රජාවක් ලෙසට සංවිධානය කරන ආයතනය ආගම නම් වේ. මේ අනුව පැහැදිලි වන්නේ ආගම,විශ්වාස,ඇදහිලි ආදිය අතර කිසියම් වු සබැඳියාවක් පවතින බවයි. ශ්‍රී ලාංකික සමාජ සන්දර්භයේදී පැහැදිලිව හඳුනා ගත හැකි ආගමික විශ්වාසයන් මෙන්ම විවිධ ඇදහිලි පුජා විධි දක්නට ලැබේ. ප්‍රාග් බෞද්ධ යුගයේ මිනිසා අතර පැවති ඇදහිලි විශ්වාසයන් ආදී දෑ මහින්දාගමනයෙන් පසුවද යම් යම් වෙනස් වීම් ඇතිව වර්තමානය දක්වාම වර්ධනය වී ඇත. එලෙස වර්ධනය වීමෙහිලා මුල් බුදු සමයේ (නිර්වාණගාමී මාර්ගයට අදාළ මුලික ඉගැන්වීම් - චතුරාර්්‍ය සත්‍යය,පටිච්ච සමුප්පාදය....)මෙන්ම ව්‍යවහාරික බුදුසමයේ (සංස්කෘතික වශයෙන් පුජා චාරිත්‍ර මඟින් සුසැදි ජනප්‍රිය බුදුසමය) ද බලපෑම් සිදුවන්නට ඇත.

ප්‍රාග් බෞද්ධ ලංකාවෙහි ක්‍රමවත් වු ආගමක් රට අභ්‍යන්තරයෙහි දක්නට නොතිබු අතර හියුංසාන් විසින්  “පෙර කල සිංහල ජාතිය මිථ්‍යා ඇදහිලිවලට ඇබ්බැහි වී සිටියේය” යැයි පවසා ඇත. මේ අනුව නිශ්චිත වු ආගමක් නොමැතිකමින් මිනිසුන් තමන්ගේ චිත්ත අභ්‍යන්තර හැඟිම් හා සමාජ වටපිටාව මත පදනම්ව  එක් එක් ඇදහිලි හා විශ්වාසයන්ට යොමුව තිබු බව සිතිය හැකිය.බුදු දහමේ ආභාසය මෙරටට ලැබීමට පෙර මිනිසුන් යකුන් පිදිමට යොමුව තිබු බවට සාධක පවතී. නිදසුන් වශයෙන් පණ්ඩුකාභය රජතුමාගෙන්  පිදීමට ලක් වු යකුන් ලෙස නුවරින් නැගෙනහිර - කාලවේල යක්ෂයාත් අභය වැවේ යටිකොණ - චිත්‍රරාජ යක්ෂයාත් රජ උයනෙහි - වළවාමුඛී යක්ෂණියත් දැක්විය හැකිය.පෙර ප්‍රාණඝාතය පිළිබඳ අවබෝධයක් නොමැතිකමින් සතුන් බිලි පුජාවන් ලෙස යොදා ගනිමින් ඇදහිලි පවා පැවැත්වීමට යොමුව ඇත.මෙවැනි සමාජ ,ආගමික පරිසරයක් යටතේ භාරතයේ නිර්මාණය වු බුදුදහමෙහි ආභාෂය ලාංකික ජනතාවට ලැබීමෙහි භාග්‍ය හිමි විය. පෙර අස්ථීර වු ආගම් වෙනුවට ස්ථීර වු රාජ්‍යය අනුග්‍රහය ලද ආගමක් මේ ඔස්සේ වර්ධනය විය.පාලකයින් මෙම ආගම වැළඳගත් බැවින් ජනතාව අතර ද බුදුදහම ප්‍රචලිත විය .

මහින්දාගමනයෙන් පසු බුදුසමයේ ව්‍යාප්තියත් සමඟ මිනිසුන්ගේ අධ්‍යාත්මික පරිවර්තනයක් සිදුවිය. ඒ අනුව ප්‍රේත ඇදහිලි වලින් මිදී ඒ වෙනුවට මළවුන්ට පිං දීමටත්  වෘක්ෂ වන්දනය වෙනුවට බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයේදී සෙවණක් වු බෝධිය උදෙසා පුජා පවත්වන්නට පෙළඹිණ. දෙවියන් ඇදහීම වෙනුවට පිං දිමට නැඹුරු විය. මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද චුල්ලහත්ථිපදෝම සුත්‍රය,විමාන වත්ථු හා ප්‍රේත වත්ථු ,දේව සුත්‍රය,බාලපණ්ඩිත සුත්‍රය හා අග්ගික්ඛන්ධෝපම සුත්‍රය ආදිය මඟින් කුසල් කිරිමෙහි ආනිසංසත් අකුසල් කිරිමෙහි ආදීනත් නිදසුන් සහිතවම ගිහියන්ට හඳුනා ගැනිමට හැකි වන්නේ බුදුසමයෙහි බලපෑමෙනි.

බුදුදහම වැළඳ ගැනීමත් සමඟ මිනිසුන්ගේ චින්තන ක්‍රමය ක්‍රමයෙන් වෙනස් වන්නට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් අතර පිං, පව්කුසල්අකුසල් පිළිබඳ අවබෝධය වර්ධනය විය.ගිහියාගේ නිත්‍ය ශීලය ඇසුරෙන් ප්‍රාණඝාතයෙන් සොරකමෙන් අනාචාරයෙන් බොරු කිමෙන් සහ මත්පැන් පානයෙන් වෙන් වු පිළිවෙතක් තමන්ගේ ජිවිතයෙහි ඇති කර ගැනීමට උත්සුක විය. මේ අනුව පංච ශිලය,චතුරාර්්‍යය සත්‍ය,මධ්‍යම ප්‍රතිපදාව,ත්‍රිලක්ෂණය ,කර්මය හා පුනර්භව ආදි බෞද්ධ ඉගැන්වීම් අවබෝධ විය. මේවා වටා ආගමික විශ්වාස ගොඩ නැගෙන්නට ඇත. ප්‍රථමයෙන්ම ආගමික වතාවත්වල නිරත වී ගාථා සඡ්ඣායනයෙන් පසුව රැස් කරගන්නා පුණ්‍ය සම්භාරය දෙවියන්ට හෝ මළගිය ඥාතීන් උදෙසා අනුමෝදන් කිරිමට බෞද්ධයෝ ක්‍රියා කරති.එයට හේතුව වන්නේ දෙවියන්ට හෝ මළගිය ඥාතීන්ට කුසල් ක්‍රියා කර පිං රැස් කර ගත නොහැකි බැවින්   ඔවුන් වෙනුවට ජීවත් වනඥාතීන් රැස් කර ගන්නා පිං අනුමෝදන් කළ යුතු යැයි පවතින ආගමික විශ්වාසය නිසාය. කුසල් කිරිමෙන් මිනිසාට පිං රැස්වන බව විශ්වාසයයි. එම නිසා බුද්ධ ධර්මය හැඳිනගත් බෞද්ධයා අකුසලෙන් වෙන්ව කුසල් සිදු කර පිං රැස් කර ගැනීම උදෙසා යොමු විණ. බෝධි පුජාවන් පැවැත්වීමට පෙර ඒ සඳහා සත්කාර කර අවසානයේ බලාපොරොත්තු වන්නේ  තමන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමයි. එලෙසම නවග්‍රහ අපල සඳහා ගායනා කරන ශාන්තිය බුදු ගුණ ආශ්‍රයෙන් සකස් කරගෙන ඇත. එයින් විශ්වාස ගන්වන්නේ බුදුගුණ බලයෙන් සිදුව ඇති නවග්‍රහ අපල දුරු වේවා යන්නයි.
“ඇති සැටියෙන් ලෝකයෙ තතු දුටුවා‐බුදු හිමියන් ලෝ විදු නම් වුවා
ගුරු මෙන් බර ගතිගුණ ඇති වේවා ‐ගුරුගෙන් වන උවදුරු දුරු වේවා”

බෞද්ධාගම මෙරට ස්ථාපනය වීමෙන් අනතුරුව ගිහි ජිවිතයෙහි සුවිශේෂි අවස්ථාවන් සඳහා භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරගෙන ආගමික වතාවත් වල නිරත වීමට බෞද්ධයෝ යුහු සුළු වෙති. නිදසුන් වශයෙන් මව්කුස පිළිසිඳ ගැනීමක්, බිහිවීමක් ,අකුරු කියවීමක් ,ගෙටගෙව දීමක් ,ආවාහ විවාහ මෙන්ම ලෙඩ රෝගයන් හා මරණයකදී ආදී වේ.බෞද්ධයන් තුළ තමන්ගේ ආගම පිළිබඳ විශ්වාසයන් පරම්පරාගතව වර්ධනය වී පැවතිම එයට හේතුවයි. එබඳු අවස්ථාවන්හිදි පිළිපදින වත්පිළිවෙත්ද වෙනස් වේ.අතිතයේ තරම් නොවුනත් වර්තමානයේ එකි පිළිවෙත්  සුළු වශයෙන් හෝ පිළිපැදීමට බෞද්ධයෝ වගබලා ගනිති. මරණාසන්න මොහොතක සිටින පුද්ගලයන් සඳහා ස්වාමීන් වහන්සේ වඩමවා පිරිත් දේශනාවන් පවත්වනු ලැබේ. බහුතරයක් බෞද්ධයන් උදෑසන නිවෙසින් බැහැරට යන විටදි බුදුන් වැඳ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගෙන තමන්ගේ සිතද සුවපත් කරගෙන සිය  කටයුතු වල නිරත වේ. පන්සලක පිංකම් අවසන් කර හෝ ගිය අවස්ථාවන්හිදී භික්ෂුන් ලවා පිරිත් නුලක් බැඳ ගැනිමට මෙන්ම පිරිත් පැන් ලබා ගැනීමට  බෞද්ධයන් අමතක නොකරති.

බුදුදහම පිළිබඳ ලියවුණු පොතපත(ජාතක පොත් වහන්සේ,ධම්මපදය,සද්ධර්මරත්නාවලිය,ලෝවැඩ සඟරාව ,සිරිත් මල්දම...) මෙන්ම විහාර සිතුවම් සේම ධර්ම දේශනාවන් ශ්‍රවණය මඟින් දහම් කරුණු පිළිබඳ අවබෝධය ලබා ගත් බෞද්ධයන් අතර විශ්වාසය වුයේ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය මඟින්ම ආරක්ෂා කර ගන්නා බවයි. බුද්ධ චරිතය ආශ්‍රයෙන් හැඳිනගන්නා පරමාදර්ශයන්හි සාරය තමන්ගේ ගිහි ජිවිතයට ආලෝකයක් කර ගනිමින් ජිවත් වීමට බෞද්ධයන් නිරායාසයෙන් පෙළඹේ. එම නිසා ඔවුහු ධර්ම ප්‍රතිපදාව අනුගමනයට පෙළඹිණ.මේවායෙහි හමුවන කතා ආදිය ආශ්‍රයෙන් ජිවිතයෙහි අනිත්‍යතාව පිළිබඳ අවබෝධය ලබා ගනී (අද අද එයි මරු පිං කර   ගන්නේ...).උම්මග්ග,වට්ඨක,සාම,සුතසෝම,මහාකපි,වෙස්සන්තර ආදි ජාතක කතා පරිශීලනයෙන් බෞද්ධ ජිවිතයෙහි ආගමික විශ්වාසයන් වර්ධනය වී මිනිසුන් ඒ ආදර්ශයන්ගෙන සිය ජිවිත ගත කරන්නට යොමු විය. කනදරා කෝරළයේ ජනතාව බෝධීන් වහන්සේ අසලට යන බෞද්ධ ගැමියාගේ කටෙන් නිරන්තරයෙන් පිටවන්නේ “අපේ ලොව්තුරු බුදුහාමුදුරුවොත් කළගුණ සැලකීම අමතක නොකොට අපි..”යන්නෙන්ය. වෙනත් සංස්කෘතික ආභාසයන්ගෙන් වුවත් බුදුහිමියන් සංකේතවත් කර ගනිමින් පිළිම නෙළා ඒවාට සත්කාර කර කුසල් රැස් කර ගැනීමට බෞද්ධයන් නිරන්තරයෙන් වෙහෙසෙති.

පිරිත උදෙසා බෞද්ධ සන්දර්භයේදී සුවිශේෂි ස්ථානයක් හිමිව තිබේ. ආරක්ෂාව උදෙසාත් රෝග සමනයටත් අමනුෂ්‍ය උවදුරු දුරු කිරිමටත් නිවෙස්වල ආශිර්වාදය සඳහාත් බෞද්ධයන් පිරිත් මණ්ඩප සකස් කර හෝ වරු පිරිත් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. පිරිතෙහි සැඟවුණු ආරක්ෂාවක් ඇති බවට විශ්වාසය ගොඩ නැඟෙන්නේ විශාලාවෙහි තුන් බිය දුරු කිරීමේ සිටය. ඒ එක් එක් පිරිත් වලට ආවේණික වු හැකියාවන් පිළිබඳ විශ්වාසයන් ආරෝපණය කර ගෙන ඇත. බුදුසමයාගත විවිධ ගාථා හා සුත්‍රයන් මන්ත්‍ර ලෙස භාවිත කරනු පෙනේ. නිදසුන් ලෙස බෞද්ධ සංකල්පයන් ඔස්සේ නිර්මාණය කරන ලද පිරිත් මන්ත්‍ර  අතර දක්නට ලැබෙන ජිනපඤ්ජර පිරිත ඇසුරෙන් රචනා කර ඇති අටවිසි බුද්ධ රාජ මන්ත්‍රය පෙන්වා දිය හැකිය.

“....තිනේත්‍ර ධාරී කුවේර පුර වෛශ්‍රවණ දිව්‍යරාජයාගෙන් වම් ගෙන සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අසා යක්ෂ රාක්ෂස ආදින් දමනය කිරීමට අට විසි බුදුවරුන්ගෙන් වරම් ගතිමි...”

දස දිසා පිරිත ගෙවල් ආරක්ෂාවට පිරිසිදු තැනකින් ගල් කැට ගෙන එම ගෙය තුළදී 108 වර පිරිත් කර මුට්ටි 4 දා එකවිට ගෙය තුළ පහන් දල්වනු ලැබේ. එමෙන්ම ඇස් වහ කටවහ ආදියට කපුටා  හඬන්නට පෙර පිරිසිදු බඳුනකට පැන් ගෙන විසිහය වරක් පිරිත් කර දෙනු ලැබේ. සර්ව රාත්‍රික පිරිත් සඳහා සුවිශේෂි ලෙසින් මණ්ඩප සකස් කර පැවැත්වීම සිරිතකි. එබඳු අවස්ථාවක අවසානයට වන්නට පවත්වන ආටානාටිය සජ්ඣායනයේදී පිරිත් නුලෙන් පිට හෝ අවට නොසිටිය යුතු යැයි විශ්වාසයයි. හේතුව වන්නේ මෙම දේශනයේදි  යක්ෂයින් කැඳවා ඔවුන්ව පලවා හරින බැවින් එම අවස්ථාවේදී  උවදුරු වලින් ආරක්ෂා වීමටය. විශේෂයෙන්ම ගැබිණි මව්වරුන් දරුවන් ලැබීමට ආසන්න සමයේදී භික්ෂුන් වහන්සේලා ලවා අංගුලිමාල පිරිත දේශනා කර ගැනීමක් හෝ තැඹිලි ගෙඩියකට එය පිරිත් කර බීමට දීමක් දක්නට ලැබේ. එසේම රතන සුත්‍රයෙහි “ඛයං විරාගං අමතං පණිතං යදජඣගා සක්‍යමුනී සමාහිතො...” ඛණ්ඩය අතට වතුර ගෙන සත්වරක් මතුරා සර්පයන් දෂ්ට කළ ස්ථානයෙහි තවරනු ලැබේ. එමඟින් විෂ අඩු වන්නේ යැයි ගැමි විශ්වාසයයි.

වර්තමානයෙහි ඇතැම් ස්ථානවල බුදු ගුණ බලයෙන් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් ජනතාවට සේවාවන් සපයනු දැක ගත හැකිය.  එලෙස බුදු ගුණ බලයෙන් මතුරන ලද තෙල් ,පස්, සුර ආදිය සිය පාරිභෝගිකයන් සඳහා ලබාදෙනු ලැබේ. එමෙන්ම සර්ප වෙදකමෙහි දි පැමිණෙන රෝගියාගේ සිත පළමුව සුවපත් කිරීම සඳහා බුදුගුණ ආශ්‍රයෙන් සකස් කර ගන්නා ලද මන්ත්‍ර උපයෝගි කර ගනු ලැබේ. එයට හේතුව වන්නේ චංචල වු සිත් ඇති රෝගියාගේ සිත ප්‍රතිකාරයන්ට පෙර එකග`තාවට පත් කර ගන්නට බුදු ගුණ වලට හැකියාව පවතින බව ඇති විශ්වාසයයි. පහතින් දක්වන්නේ එබඳු මන්ත්‍රයකි.

“ඕං නමෝ සුවිසි බුදුන්ගේ අටවිසි පිරිත් ඇසු පන්සියේ පොත්ගුල් සතෙරේ රං දොර ගිනි බුදුරැස් මාලාවෙන් ගිනි වෙලි පිපිරි ගිය ආනුභාවයෙන්ය ආඥාවෙන් උඩගොඩ මඩවල ජලහිර ගාථා හිර වැලැක්කුං කැඩි”කැඩි කැපි කැපි පිපිරි ගිනිවැදි හඬ බලා පලං තින්‍දා පො:...”

සිංහල මිනිසුන් අතර දේවත්වයට පත්ව ඇති දෙවිවරුන් ජීවත්ව සිටින කාලයේදී සිදු කරන ලද යහපත් ක්‍රියා නිසා මරණයෙන් පසු මිනිසුන් ඔවුන්ව දෙවියන් ලෙස සලකා ඇත. ඌවේ පූරාණ යුගයේදී ගැමි ජනතාවගේ ආරක්ෂාව සහ යහපත සඳහා කටයුතු කළ ප්‍රභූවරු මරණින් පසු දේවත්වයෙන් සලකන බව සිංහල දේව පූරාණයෙහි දැක්වේ. මින්නේරිය දෙවියන් සිල්පොළගම ගොඩගෙදර දෙවියන් පට්ටියේ ගෙදර කටුගහ බණ්ඩාර දෙවියන් පුංචි අලුත් බණ්ඩාර දෙවියන් ආදීය එබඳු දෙවිවරුන් ගණයට අයත්ය. බෞද්ධ විශ්වාසය අනුව කර්මඵල වාදය හා පුනරුත්පත්තියට අනුකූලව යහපත් ක්‍රියාවල නිරත වු පිරිස් මරණයෙන් පසු දෙවි කෙනෙක් බවට පත්වේ. ඉහත දේව සංසිද්ධියද එබඳු ආකාරයකි.මේ අනුව පැහැදිලි වන්නේ බෞද්ධයන් අතර පවතින ආගමික විශ්වාසයන් පාදක කරගෙන සිංහල දේව වන්දනයද වර්ධනය වී ඇති බවයි. මේ සඳහා බුදු සමයෙහි බලපෑම සෘජුවම සිදුව ඇති බැව් සනාථ වේ.

බෞද්ධ විහාරස්ථානයක ප්‍රධාන අංග වන ශාරීරික,පාරිභෝගික,උද්දේසික චෛත්‍යයන් දක්නට ලැබේ. ජනතාව මේවා පිළිවෙලින් වන්දනා කිරිමට පෙළඹේ. ශාරීරික ධාතු නිදන් කර තනා ඇති මහියංගන,රුවන්වෑලිසෑය,ථුපාරාමය දැක බලා වන්දනා කිරිම බෞද්ධයන් අතර ඇත්තේ මහත් උනන්දුවකි. අනුරාධපුරයට ශ්‍රී මහා බෝධියට  මහනුවර දලදා මාළිගාවට බෞද්ධ ජනතාව අතර ඇත්තේ ගෞරවයකි. මෙම ස්ථාන වටා පුජා විධි සත්කාර පැවැත්වනු දක්නට ලැබේ. ඇසළ පෙරහැර නිදසුනකි. ඒවායෙහිදී වෙනස් වු වතාවත් වල බෞද්ධයන් නිරත වනු දක්නට ලැබේ.බෞද්ධ සංස්කෘතියෙහි පවත්වන කඨින පුජා,බෝධි පුජා,ආලෝක පුජා ,පෙරහැර,අධිෂ්ඨාන පුජා ආදි නොයෙක් පුජාවන් පවත්වන්නේ බෞද්ධයා අතර බුදුසමයත් සමඟ වර්ධනය වු ආගමික විශ්වාසයන් හේතුවෙනි. කඨින පුජාවක් කිරීම මහත් ඵල මහානිසංස ලබා දෙන පරලොව සුගතියට හේතු වන්නක් බව විශ්වාසයයි. බුදුසමයෙහි බලපෑමක් නොවිණි නම් මිනිසුන් අතර මෙබඳු ආගමික විශ්වාස ගොඩනොනැඟෙනු ඇත.බෞද්ධයන්ගේ සියලු පුණ්‍ය කර්මවල අරමුණ වන්නේ පිං රැස් කරගෙන නිවන් අවබෝධය පිණිස හැකි වේවා යන්නයි.

මෙරට බහුලව පවත්වන තොවිල් ආදියෙහි දී කපු තැන තමන්ගේ ආත්මය ඇඟට ගනු ලබන්නේ පළමුව තෙරුවන් වන්දනා කරගෙනය. ඉතා ප්‍රචලිත තොවිලයක් වන හුනියම් කැපිල්ල ආරම්භ වන්නේ යකැදුරන් හා ආතුරයා ද තෙරුවන් සරණ ද යෑමෙනි. එහිදී ත්‍රිවිධ රත්නයට නමස්කාර කරමින් ශ්ලෝකත්‍රයක් ගැයේ.එමෙන්ම හුනියම් කැපිල්ලේ එන උත්පත්ති කතාවේ දී පස් බුදුවරුන් සිහිපත් කෙරේ. එලෙසම උඩරට,පහතරට හෝ සබරගමු ප්‍රදේශවල පැවැත්වෙන එකිනෙකට වෙනස් වු ශාන්තිකර්ම සියල්ලක්ම තෙරුවන් සරණ යාම මුලික කටයුත්තක් වී ඇත. ඇතැම් ශාන්තිකර්මවල උත්පත්ති කතාවලට පාදක වන්නේ බෞද්ධ කතා ආදියයි. නිදසුන් වශයෙන් සන්නි යකුමේ එන “සන්නි යකුගේ උත්පත්ති කතාව” බුද්ධ චරිතය හා සම්බන්ධ කර දක්වනු ලැබේ. එමෙන්ම සුනියම් ශාන්තියේ එන බුලත් උත්පත්ති කථාව සස ජාතකය හා බැඳි ඇත. රිද්දි යාගයේදි වඳ බිසෝවරු සත් දෙනාගේ මුල් පෙළපාළි විසිතුනම බුද්ධ පුජාවක් සදඟා සුදානම් වන ආකාරයක් දක්වයි. යක් තොවිල්වලදී බුද්ධ චරිතයේ ආනුභාව සම්පන්න අවස්ථාවන් ගෙන ඒවා උපකාරයෙන් යකුන් බිය ගන්වා පලවා හරිනු ලැබේ. සුනියම් ශාන්තිකර්මයේදී පෙළපාළි අතර බුද්ධ චරිතයේ අවස්ථාවන් ගෙන හැර දක්වයි.

මළ ප්‍රේත යකාගෙපිදේනි කවි,

“කකුසඳ කෝනාගම කක්ෂප ගවුතම අණ ලන්නේ
එබඳුන්ගේ අනුහස යෙන් නොරඳු යකු පුද ලන්නේ”

“බුදු වු තිලෝ             ගුරු
පා වැඳ කියමි           තොරතුරු
සඳහම් ගුණ             ගැඹුරු
වදිමි මුනිඳුන්            තිලෝගුරු”

දහඅට සන්නියේ පාළි නැටුම් ,

“තිලොවග මුනි           තුමන් 
වදඟල පසිඳු              සඳහම්
මුණි ගුණ සඟ            රුවන්
වදිමි අදරින් නිමල        තෙරුවන්”

සුනියම් ශාන්තියේ හත් අ`ඬි ඇඳීම ,

“සාරාසංකය මුනි දීපංකර ‐ සොලසා සංකය පෙර දීපංකර
සුවිසි අසංකය සිත් ලැබු බුදුවර ‐ ධීර බලයෙන් ලැබුණේ”

මෙලෙස බුද්ධ චරිතය හා සම්බන්ධ සිද්ධි ඇතුළත් කර ගැනීමෙන් ශාන්තිකර්ම සඳහා විශ්වාසවන්ත බවක් හෝ බලයක් හෝ වටිනාකමක් ආරෝපණය උදෙසා උත්සුක වුවා විය හැකිය. ඉහත නිදසුන් වලින් වඩාත් තහවුරු වන්නේ බුදුසමයෙහි බලපෑම නිසා ශාන්තිකර්මයන්හි වර්ධනය සිදුව ඇති බවය .නිදසුන් ලෙස යක්ෂයින් පළවා හැරීමට බුද්ධ චරිතයේ අවස්ථාවන් ගෙනහැර දක්වා තිබීම. 

අප සමාජයෙහි හර පද්ධති සියල්ලක් පාහේ පදනම බවට පත්ව ඇත්තේ බෞද්ධ ආගමික විශ්වාසයන්ය වේ. භික්ෂුන් සහ ගිහියන් අතර සබඳතා වර්ධනය වන්නේත් මේ හේතුවෙනි. ඇතැම් විට සාමාන්‍ය ජිවිතයේදී අප සිහිනෙන් බිය වුවත් නොපෙනෙන බලවේගයකට බිය වුවත් තනිව සිටින විටත් අප නිරායාසයෙන් “ඉතිපිසෝ භගවා” ලෙසින් බුදුගුණ සිහි කිරිමට පෙළඹෙන්නේ අප අතර ඇති බෞද්ධාගමික විශ්වාසයන්හි බලපෑම නිසාවෙනි.රාත්‍රි නින්දට පෙර බුදුගුණ සිහි කර නිදා ගන්න යැයි වැඩිහිටියන් පවසන්නේ එවිට සිහිනෙන් බය නොවී සුවපහසු නින්දක් මෙන්ම සුවපහසු අවධි වීමක් ලබා ගැනීම උදෙසාය.

           බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙන්ම බුද්ධ ධර්මය පිළිබද්ව ඇති දැඩි විශ්වාසය නිසා අප අපගේ එදිනෙදා ජිවිතයේදි  ධාර්මික ජිවිත ගත කිරිමට උත්සුක වෙති.ඉහතින් සඳහන් කරන ලද කරුණු අනුව මෙරට බුදුසමයෙහි ව්‍යාප්තියත්සමඟ එහි බලපෑමෙන් විවිධාකාර වු ආගමික විශ්වාසයන් ව්‍යාප්ත වන්නට ඇති බව වර්තමානය වනතෙක් පවත්වාගෙන එන පිළිවෙත් සහ අතිත සාක්ෂි අධයයනයේදි තහවුරු වන්නකි. එමෙන්ම බුදු දහමෙහි ඇදහිලි අන්තර්ගත නොවන අතර සමාජ පිළිගැනිම් හා විශ්වාසයන් හමුවෙහි මිනිසුන් අතර පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා බුදුසමයෙහි අන්තර්ගත යම් යම් දෑ මෙම ඇදහිලි තුළට එක්කාසු කරගෙන වර්ධනය වන ආකාරයක් දක්නට ලැබේ.වෙනස් වන සමාජ ක්‍රමය හමුවෙහි ආගමික විහ්වාසයන් හා ඇදහිලි වර්ධනය වීමෙහිලා  බුදුසමයෙහි බලපෑම් සෘජුව හෝ වක්‍රාකාරයෙන් සිදුව ඇති බව ඉහත කරුණු විශ්ලේෂණයේදී තහවුරුවේ. 

සමාලෝචනය

           බුදුදහම මෙරට ස්ථාපනය වීමට පෙර පැවති ප්‍රාග් බෞද්ධ යුගයෙහි දී ජනතාව අතර පැවතියේ තරමක වෙනස් ඇවතුම් පැවතුම් වේ. ගස් ගල් ප්‍රේතයන් දෙවියන් අදහමින් ජිවත්වු ඔවුන් අතර සාරධර්ම පිළිබඳ අවබෝධයක් නොවිණ. එහෙත් මහින්දාගමනයෙන් පසුව මෙම තත්වය ක්‍රමයෙන් දුරස්වන්නට විය. පෙර පැවති ඇතැම් ඇවතුම් පැවතුම් සඳහා නව අර්ථයන් සපයමින් ඉදිරියටත් පවත්වාගෙන එනු ලැබීය. බහුතරයක් ආගමික විශ්වාසයන් ගොඩ නැගෙන්නේ බුදුසමය ප්‍රමුඛ කර ගනිමිනි. විශේෂයෙන්ම මුලික ධර්ම කරුණු වන චතුරාර්්‍යය සත්‍ය, ත්‍රි ලක්ෂණය,මධ්‍යම ප්‍රතිපදාව, කර්මය හා පුනර්භවය ආදි වටා මෙම විශ්වාසයන් ජනතාව අතර ව්‍යාප්ත විය. පිං සහ පව් මෙන්ම කුසල හා අකුසල ක්‍රියා ඉන් ප්‍රමුඛ විශ්වාසයන් බවට පත්ව ඇත.

          බෞද්ධයන් සිය ලෞකික අපේක්ෂාවන් සාධනය කරගනු පිණිස බුද්ධ දේශනාවන් ආශ්‍රයෙන් තමන්ගේ එදිනෙදා ජිවිත හැඩගස්වා ගැනීමට කටයුතු කර තිබේ. ගිහි ජිවිතයෙහි සුවිශේෂි අවස්ථාවන් සඳහා ආගමික වතාවත් ප්‍රමුඛ වී ඇත. ඒ අනුව උපතේ සිට මරණය දක්වා ගිහියන් මෙලෙස බුදුසමයෙහි බලපෑම නිසාවෙන් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. නිදසුන් වශයෙන් දරු උපතක් , අකුරු කියවීමක්මංගල අවස්ථාවක් හෝ රෝගී වු විට හෝ මරණයක දී භික්ෂුන් වහන්සේලාගේ ආධාර ඇතිව එබඳු අවස්ථාවන් සඳහා ආගමික වතාවත් වල නිරත වෙමින් කටයුතු කරනු පෙනේ. 

බුද්ධ දේශනාවන් අතර පිරිත් මන්ත්‍ර ලෙසින් භාවිතයට ගන්නා ආකාරය හැඳිනගත හැකිය. එමෙන්ම බලි තොවිල් මෙන්ම ශාන්තිකර්ම වලදි බුදුරජාණන් වහන්සේ ප්‍රධානත්වයෙහි තබමින් සෙසු කටයුතු සිදුකරනු ලැබේ. ඇතැම් ශාන්තිකර්ම වල උත්පත්ති කතා බුදුසමය සමඟ ගොඩ නංවා ඇති ආකාරයක් දැක ගත හැකිය. සන්නි යකුම නිදසුන් ලෙස දැක්විය හැකිය. දේශිය දෙවිවරුන් දේවත්වයෙන් සැලකීම උදෙසා වක්‍රාකාරයෙන් හේතු වන්නේද  බුදුසමයෙහි කර්ම හා පුනර්භවයෙහි සංකල්පයන්ය.

බුදු සමය නිසා මිනිසුන් අතර සිදු වු අධ්‍යාත්මික පරිවර්තනයත් සමඟ ක්‍රියාවන්ද වෙනස් මඟක් ගනු ලැබීය. ඒ අනුව ඔවුන්ගේ දෛනික ජිවිතයෙහි ක්‍රියාවන් මෙන්ම ඇදහිලි අතරද වෙනස් වීම් සිදුව ඇත්තේ බුදුසමයට අනුරූපවය. රාජ්‍ය ආගම බවට බුදු දහම පත් කිරිමත් සමඟ සමාජයෙහි සියල්ලක් ඒ මත වර්ධනය වන්නට විය. පවතින තත්වයට අනුගත වෙමින් මෙරට ඇදහිලි පද්ධතියෙහි ප්‍රමුඛස්ථානය බුදුසමයට ලැබිණ.















ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


අමරසේකර,තිලකදාස. දහ අට සන්නිය යාග විධි විමර්ශනය. කොළඹ : කර්තෘ ප්‍රකාශන,2002.

ධම්මරංසි,මැණික්කඩවර.ලක්දිව බුදු සමයේ නුතන ප්‍රවණතා. කොළඹ :ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,2013.

ධර්මදාස,කේ.එන්.ඕ සහ තුන්දෙනිය, එච්.එම්.එස්. සිංහල දේව පුරාණය. පාදුක්ක :රාජ්‍යයේ මුද්‍රණ නිතිගත සංස්ථාව ,1994.

මෑත කාලින ශ්‍රී ලංකේය බුදු සමය (සංස්). දඔුල්ලේ සුදේව හිමි. කොළඹ : ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,2015.

විජය ශ්‍රී වර්ධන ,විභාවි.ලක්දිව ප්‍රේත සංකල්පයේ විකාශය. කොළඹ : ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1996.















Thursday, November 15, 2018

මයිසීනියානු ශිෂ්ටාචාරය

හෝමර්ට අනුව රනින් පෝෂිත දේශයක් වු මයිසීනියානු ශිෂ්ටාචාරය ක්‍රි.පූ 2 වන සහශ්‍රකයේ ආරම්භයේ දී ග්‍රීක අර්ධද්වීපයෙහි ගිණිකොන දිග ප්‍රදේශයට වන්නට ජනාවාස පිහිටුවාගෙන ක්‍රි.පූ 1600 පමණ වනවිට ඔවුන්ටම  ආවේණික වු දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනඟා ගෙන සිටියහ. 



සමකාලීන මෙසපොටේමියානු , ඊජිප්තුයානු හා මිනෝවානු ශිෂ්ටාචාරවල ආභාසය මයිසීනියානු ශිෂ්ටාචාරයට ලැබී තිබේ. විශේෂයෙන් ඊජිප්තු මළවුන් හා සම්බන්ධ විශ්වාස චාරිත්‍ර ආදියෙහි බලපෑම පැවතිණි. මයිසීනියානු ජාතිය රණකාමී පිරිසකි. මොවුන් ක්‍රමයෙන් වර්ධනය වන විට මිනෝවානු ශිෂ්ටාචාරය ආක්‍රමණය කර එහි නගරවල වස්තුව පැහැර ගෙන තිබේ. ඒ හේතුවෙන් මයිසීනියානු කලාව සමකාලීන මිනෝවන් කලාවෙන් ආභාසය ලැබූ බව ප්‍රකට කරුණකි. එම කලාකෘතිවල දක්නට ලැබෙන සුවිශේෂතා චිත්‍ර, මූර්ති හා ගෘහනිර්මාණ ශිල්පය යටතේ මෙහිදී හැඳිනගත හැකිවේ.

1.)මයිසීනියානු චිත්‍ර කලාව

  • මෙම යුගයේ දී බිතු සිතුවම් බිත්ති අලංකරණය සඳහාත් ඔවුන්ගේ ජිවිතයේ විවිධ ක්‍රියාකාරකම් නිරූපණය සඳහා ද සිතුවම් නිර්මාණය කර ඇති බව කිව හැකිය.
  • මිනෝවන් සිතුවම්හි ස්වභාවධර්මය, සෞන්දර්යාත්මක බව නිරූපණය වන සිතුවම් දක්නට ලැබුනද මෙහි හමුවු සිතුවම් ස්වභාවධර්මය දනවන සිතුවම් මෙන්ම දඩයම් දර්ශන, යුධ අවස්ථා , පලිහවල් , පෙරහැර හා ආගමික වැඩසටහන් ආදී අන්තර්ගත සිතුවම් වේ.
  • මිනිසුන්ට ආවේශ වු යකුන්ගේ සිතුවම් ද රාජාලි හිසක් හා සිංහ කඳක් සහිත මනඃකල්පිත සත්ත්ව රූපයන්ද දක්වා ඇත. 
  • ක්‍රියාශීලි,වේගවත් බව නිරූපිත ගොන් ක්‍රිඩාවෙහි සිතුවමක් හමුවන අතර එය මිනෝවන් ආභාසය සහිත වුවද ප්‍රමාණයෙන් කුඩාවේ.
  • ඊජිප්තු සිතුවම් වල බලපෑමෙන් ක්‍රිට පෙරහැර වල පිරිමි ශරීර පමණක් දක්වා ගැහැණු චරිත බැහැර කළ ද මෙහිදී දක්නට ලැබෙන පෙරහැරෙහි කාන්තාව සිතුවම් කර තිබේ.
  • මිනෝවන් සිතුවම් සේම නිල් වර්ණය පසුබිම සඳහා භාවිතා කළ අවස්ථා දක්නට ලැබේ.
  • රතු,සුදු,නිල් වර්ණ සිතුවම්වල භාවිතා කර ඇති අතර රතු හා නිල් බහුලව භාවිතා කර තිබේ.
  • කාන්තාවන් සඳහා සුදු වර්ණයත් පිරිමින් සඳහා තද වර්ණයත්  භාවිතා කර ඇත.
  • මැග්‍රොන්හි බිත්තිවල රණකාමීත්වය පෙන්වන සිතුවම් දක්නට ලැබේ(වල් ඌරු දඩයම, යුධරථ ,අශ්වරථ හා අශ්වයන්).
  • මිනෝවන් කාන්තාවන්ගේ දිග වාටි සහිත රැලි සාය හා ඉදිරිපස විවෘත හැට්ටය මයිසීනියාහි කාන්තා රූපවල දක්නට ලැබේ.
  • මානව රූප පැති පෙනුමෙන් සහ උස දිගටි පෙනුමෙන් සිතුවම් කර ඇත. මානව රූපයේ කඳ ඉදිරියට දක්වා ඇත.
  • රූප වටේට පිටත රේඛාවක් ඇඳ ඇත.
  • පැතලි වර්ණ භාවිතා කර තිබේ.
  • චිත්‍රවල නිදහස් බවක් පවතී.
  • ගොන් ක්‍රීඩාව,පෙරහැර,යුධ සටන් ආදී ක්‍රියාශීලි ඉරියව් සහිත සිතුවම් දක්වා තිබේ.
  • විවිධ ප්‍රමාණයේ සිතුවම් දක්නට ලැබේ.


2.)මයිසීනියානු මූර්ති කලාව

  • මයිසීනියානු Early හා Middle හෙලඩික් යුගවල හමුවන මූර්ති විරල වේ. තෙසලි හා සිගෝරියස් ප්‍රදේශවල ටෙරාකොටා වලින් නිර්මාණය කර ඇති නිරුවත් පුරුෂ රූප හමුවී තිබේ. එසේම ඉලියුසිස් හි ටෙරාකොටා වලින්ම නිපදවු සත්ව රුව සුවිශේෂි වේ.
  • Late හෙලඩික් මූර්ති සඳහා ප්‍රධාන ලෙසම මැටි , පාෂාණ හා ප්ලාස්ටර් භාවිතා කර ඇත. ඒවා ක්‍රම දෙකක් යටතේ සකසා තිබේ.            1. වෘත්තාකාර ආකාරය          2. උන්නත් ආකාරය
         1. වෘත්තාකාර මූර්ති
  • ප්ලාස්ටර් භාවිතයෙන් Head of a godness , Small head of a staturtte ආදී මූර්ති කර තිබේ. 
  •  Asinc හා Athen වලින් මැටි මුහුණු හමුවේ. එම මුහුණු ඉරියව් හා මුහුණු මූර්තිමත් කරන මූර්ති ලී වලින් සෑදූ මිනිස් ශරීර සඳහා බද්ධ කර ඇත.
  • මේ මුහුණු ඇස, කන , නාසය , කට හා මුහුණ විවිධ වු පච්ච ආකරයට කැටයම් කර ඇත. හිසට එකක් දමා ඇති ලෙස නීරූපණය හා වර්ණාලේපය කර ඇත.
  • සත්ව හා කුරුලු මූර්තිමත් කර ඇත.
  • ටෙරාකොටා වලින් ගැහැණුන්ගේ දෙපා දහස් ගණනක් දක්නට ලැබේ.
  • අත් බැඳගත්, ඉඟෙන් පහළ සිලින්ඩරාකාර , පැතලි  අත් හා විකාර රූපී සාමානයය සිරුරකට වඩා වෙනස් මිනිස් මූර්ති දක්නට ලැබේ. ඒවා කාන්තා මූර්ති ලෙසින් ඇතැම් මූර්තිවල  පියයුරු යාන්තමින් නිරූපණය කර තිබේ.

       2. උන්නත්  මූර්ති      
  •  සොහොන් කොත්වල බහුතරයක් මේ ආකාරයේ මූර්ති හමුවේ. නිද: කනක රජතමය වෙස් මුහුණ
  • දඩයම් හා යුධ වදින අවස්ථා හුනුගලින් පෘෂ්ඨ මත නිරූපණය කර ඇත.
  • මියැන්ඩර් , රොසටි , ස්පයිරල් ආදී රටාවන් වලින් අලංකෘත කර ඇත.
  • මේවාට අමතරව ඇත් දළින් නිම කළ මූර්තියක් හමුවේ. එහි මිනෝවන් ආභසය තරමක් දුරට දක්නට ලැබුණ ද ප්‍රකට වන්නේ මෙසපොතේමියානු ලක්ෂණ වේ. එහි සියුම් ලෙස කැටයම් කරන ලද හැඩතල හා නමයශිලි ශරීර ඉරියව් දැක්වේ.විවිධ දේව මත ඒ පිලිබඳ දැක්වේ.
  • ශෙලමය මූර්ති නිර්මාණයේදී මිටිය,ගල්කටු,ඇඹරුම් ,කියත් උපයෝගී කර තිබේ.
  • රත්තරන් අං දෙකක් සහිත ගව හිස මඟින් ඔවුන්ගේ ශක්තිමත් භාවය තහවුරු කර තිබේ.    





3.) මයිසීනියානු ගෘහනිර්මාණ ශිල්පය                


  • මයිසීනියානු ගෘහනිර්මාණ ශිල්පය සොහොන් ,මාළිගා , ආරක්ෂක දොරටු හා නිවාස යටතේ වෙන්ව හඳුනා ගත හැකිය.
       1.සොහොන්
  • සාමානයය හා ප්‍රභූ පැලැන්තියට හිමි වන සොහොන් පැවතිණ.
  • මඩ ගඩොල් භාවිතා කර නිර්මාණය කර ඇත.
  • Late හෙලඩික් කාලයට අනුව සොහොන් ප්‍රධාන වර්ග 03 කි .
                                                              වක්‍ර වු අභයන්තර සොහොන් කුටීර
                                                              හතරැස් කොටු සහිත සොහොන් කුටීර
                                                              පර්වත ආකාරයේ සොහොන් කුටීර
      2. මාළිගා
  • මාළිගා වට කර ප්‍රධාන ආරක්ෂක දොරටු ඇත.
  • ඉතා උස් වු කුඩා අධිකරණ වැනි මැදිරි පිහිටා තිබේ. නිද: Tripartite megaron
  • මැඳ කුළුණු 04 ක් හා වටේ විශාල රවුම් කුළුණු සකසා ඇත.
  • බිත්ති මත එක දිගට තේමාව මතුවන ලෙස සිතුවම් ඇඳ තිබේ.
  • සෝල්දර පඩිපේළි මෘදු ගලින් හා අභයන්තර පඩි ලී වේ.
  • පතුල් මාලය මඩ වලින් පුරවා සුඩු මටි හෝ හුණු ආලේප කර කපරාරුව සකස් කර තිබේ.
     3. නිවාස
  •  Early හෙලඩික් යුගයේ කල්නොපවතින ද්‍රවය හා Middle හෙලඩික් යුගයේ කල් පවතින ද්‍රවයේන් සකසා ඇත.
  • ඍජුකෝණාකාර නිවාස දක්නට ලැබේ.
  • Early හෙලඩික්වල සංස්කෘතික මරුවෙන් පසු නිවෙස් වල දෙවියන්ට වෙන් කළ කොටසක් විය.
  • උළු වහල හා බිත්ති හුණු හෝ මඩ භාවිතයෙන් කපරාරු කර ඇත.
  • පුරවන ලද මඩ ගඩොල් බිත්ති වන අත්‍ර බිමට මැටි හෝ ගල් පුරවා ඇත.
  • Late හෙලඩික් හි මිනෝවන් ආභාෂය ලබා තාක්ෂණය හා අලංකාරණය උපයෝගී කර තිබේ.
  • Late හෙලඩික් නිවාසවල පතුල් මාලය ගබඩා කිරීම් සඳහා භාවිතා කර ඇත.
     4. ආරක්ෂක දොරටු
  • බලකොටු වටකර මාකුරු ආකෘතියට නිර්මාණය කර තිබේ.
  • ශක්තිමත් රළුහුණු ගල් භාවිතා කර ඇත.
  • දොරටු සඳහා වෙස් මුහුණු ආදීය කැටයම් කර තිබේ. නිද: සිංහ ද්වාරය




මයිසීනියානු කලාව ඔවුන්ටම ආවේණික ලක්ෂනයන්ගෙන් සමන්විත වුවකි.ඒ සඳහා සෙසු සමකාලීන ශිෂ්ටාචාරවල ආභාසය ලබා ඇති බව කලාකෘති අධයනයෙන් තහවුරු වන්නකි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
අලුත්වත්ත,ප්‍රගීත්.(2012).අපරදිග කලා ඉතිහාසය.කොළඹ:ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
ජයසේකර,කමනි.(2006).ආදි ග්‍රික ඉතිහාසකරණය.ස්ථානය සඳහන් නොවේ:සමන්ති පොත් ප්‍රකාශක.
Turner,Jane.(ed.)(1996).The dictionary of Art.New York : Grove's dictionaries.

එක මවකගේ දරුවෝ

ආගමෙන් ජාතියෙන් කුලයෙන්   කුමකට අයත් වුවත්  සියලු දෙනාම මනුෂ්‍යයෝ ය .